ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අඛණ්ඩව එම ධුරය වැඩිම කලක් හෙබවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වෙමින් සුවිශේෂී වාර්තාවක් තබා තිබේ. අද (ජූනි 10) වන විට ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ දින 4,399ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.
මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ. එම පණිවිඩයේ සඳහන් කර ඇත්තේ, මෙම සන්ධිස්ථානය අග්‍රාමාත්‍ය මෝදිගේ දීර්ඝ සේවා කාලය පමණක් නොව, ලොව විශාලතම ප්රජාතන්ත්රවාදයේ ජනතාව ඔහුගේ නායකත්වය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය ද මනාව පිළිබිඹු කරන බවයි.
2014 මැයි 26 දින ප්‍රථම වරට ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි මහතා, 2019 වසරේදී වැඩි ජනවරමක් සහිතව නැවත තේරී පත් වූ අතර, 2024 වසරේදී තෙවැනි වරටත් එම ධුරයේ දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ දේශපාලන ඉතිහාසයේ ජවහර්ලාල් නේරු සහ ඉන්දිරා ගාන්ධි වැනි දැවැන්ත නායකයින්ගෙන් පසු, වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ නායකයා ලෙස මෝදි මහතා මේ වන විට ඉතිහාස ගතව ඇත.
තම 12 වසරක සේවා කාලය තුළ අත්කර ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝදි මහතා සඳහන් කර ඇත්තේ, එය ජනතා විශ්වාසය, සංවර්ධනය සහ මහජන සුබ සාධනය වෙනුවෙන් කැප වූ ගමනක් බවයි. විශේෂයෙන්ම දුප්පත්කම අවම කිරීම සහ සුබසාධන වැඩසටහන් පුළුල් කිරීම, මාර්ග, දුම්රිය සහ ගුවන් තොටුපොළ ජාලය නවීකරණය කිරීම වැනි යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් ගෙවීම් පද්ධති හරහා ආර්ථිකය විධිමත් කිරීම, ආරක්ෂක හා විදේශ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම මෙන්ම තරුණයන්, කාන්තාවන් සහ ගොවි ජනතාව සවිබල ගැන්වීම වැනි ක්ෂේත්රවල කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව භාරතීය ජනතා පක්ෂය පෙන්වා දෙයි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් ලොව පුරා රාජ්‍ය නායකයින් රැසක් සිය සුබ පැතුම් එක්කර ඇති අතර, අග්‍රාමාත්‍ය මෝදිගේ දූරදර්ශී නායකත්වය සහ ඉන්දියාව වෙනුවෙන් ඔහු දරන කැපවීම අගය කර තිබේ.
















