කැළණිය විශ්වවිද්‍යාලයේ ලළිත කලා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 20 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ විශේෂ රිට් පෙත්සමක් (Writ Petition) ගොනු කර තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ස්ථාපිත මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා උසස් අධ්‍යයනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ (NCAS) අධ්‍යක්ෂ ධූරය සඳහා තමන්ව පත්කරන ලෙස නියෝග කරමින් ‘මැන්ඩාමුස්’ (Mandamus) රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඇය මෙම පෙත්සම මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියි.
මීට පෙර ද NCAS ආයතනයේ අධ්‍යක්ෂවරිය ලෙස සාර්ථකව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මියගේ නිල ධූර කාලය 2026 ජනවාරි 31 වන දිනට අවසන් වීමට නියමිතව තිබී ඇත. ඒ අනුව, නව අධ්‍යක්ෂවරයෙකු තෝරා ගැනීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2025 නොවැම්බර් 14 දිනැතිව නිල වශයෙන් අයදුම්පත් කැඳවීම් සිදුකර තිබුණි. එම නිල දැන්වීමට අනුව මහාචාර්ය ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය ද අදාළ තනතුර සඳහා සුදුසුකම් සපුරාලමින් සිය අයදුම්පත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
පෙත්සමේ සඳහන් වන පරිදි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මේ සඳහා වන නිල සම්මුඛ පරීක්‍ෂණය 2026 ජනවාරි 30 වන දින පවත්වා තිබේ. එහිදී අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබාගනිමින් තමන් ප්‍රථම ස්ථානයට පත්ව සිටිය ද, තමන්ව එම තනතුර සඳහා පත් නොකර ඒ වෙනුවට වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාව පත් කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බව පෙත්සම්කාරිය කියා සිටියි. මේ හේතුවෙන් සිදුව ඇති අසාධාරණය වෙනුවෙන්, සම්මුඛ පරීක්ෂණයේ කුසලතාවය පදනම් කරගනිමින් තමන්ව වහාම NCAS අධ්‍යක්ෂ තනතුර සඳහා පත් කිරීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඇය අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් අයැද සිටියි.
















