‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන වාහන සුසර කිරීමේ (Tune-up) නොමිලේ සේවාව සහ වායු විමෝචන වැඩසටහන අද (ජූනි 10) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ විය.
ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන දියත් කෙරිණි.
කිසිදු අය කිරීමකින් තොරව රථ වාහන සුසර කිරීමේ (Tune-up) සේවාව ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. මීට අමතරව, නාගරික වායු විමෝචනය පිළිබඳ දත්ත ඇතුළත් නව මෘදුකාංගයක් නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී එළිදැක්විණි.
මෙම මෘදුකාංගය ඉදිරියේදී ජංගම දුරකථන යෙදුමක් ලෙස භාගත කර ගැනීමට හැකි වේ. එමගින් නාගරික වායු දූෂණය සහ ඒ සම්බන්ධ දත්ත පිළිබඳව නිරතුරුවම දැනුවත් වීමට ජනතාවට අවස්ථාව සැලසේ. පාරිසරික ආරක්ෂාව සහ වායු දූෂණය අවම කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, වාහන හිමියන් සඳහා සිය රථවල කාර්යක්ෂමතාව පරීක්ෂා කර ගැනීමට ලැබෙන හොඳ අවස්ථාවකි.
















