මාස්ටර්කාඩ් (Mastercard) ආයතනය සිය දකුණු ආසියානු කලාපීය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම සහ ඒකාබද්ධ කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන රටවල් ආවරණය වන පරිදි නව නායකත්ව පත්වීම් කිහිපයක් සිදු කර තිබේ. මෙම රටවල් අතර පවතින සංචාරක කර්මාන්තය, දේශසීමා හරහා සිදු කෙරෙන වෙළෙඳාම සහ ඩිජිටල් ගෙවීම් පද්ධතිවල නවෝත්පාදනයන්හි පවතින සම්බන්ධතාවය ශක්තිමත් කිරීම මෙම නව ඒකාබද්ධ මෙහෙයුම් ආකෘතියේ මූලික අරමුණයි.
සඳුන් හපුගොඩ මහතා ශ්‍රී ලංකාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන රටවල් පහේ සමූහ රට කළමනාකරු (Group Country Manager) ලෙස පත් කර ඇත. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මාස්ටර්කාඩ් මෙහෙයුම් සාර්ථකව මෙහෙයවූ අතර, ගෙවීම් පද්ධති, ෆින්ටෙක් සහ ඩිජිටල් බැංකුකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් ඇති අයෙකි. ඔහු දැනට ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
මහේෂා අමරසූරිය මහත්මිය මාස්ටර්කාඩ් ශ්‍රී ලංකා රට කළමනාකරු (Country Manager for Sri Lanka) ලෙස උසස්වීම් ලබා ඇති අතර, ඇය සඳුන් හපුගොඩ මහතා යටතේ වාර්තා කරනු ඇත. පසුගිය වසර හතරක කාලය තුළ මාස්ටර්කාඩ් ආයතනය සමඟ එක්ව ඩිජිටල් ගෙවීම් ව්‍යාප්ත කිරීමට ඇය දැක්වූ දායකත්වය අතිමහත්ය. ආයතනික සහ සිල්ලර බැංකුකරණය ඇතුළු බැංකු ක්ෂේත්‍රයේ වසර 23කට අධික අත්දැකීම් ඇය සතු වේ.
මාස්ටර්කාඩ් දකුණු ආසියානු අංශයේ සභාපති ගෞතම් අග්‍රවාල් මහතා සඳහන් කළේ, මෙම නව නායකත්ව වෙනස්කම් හරහා කලාපීය වශයෙන් පවතින වර්ධන අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට සමාගම සූදානම් බවයි. සඳුන් හපුගොඩ සහ මහේෂා අමරසූරිය යන දෙදෙනාගේම අත්දැකීම් සහ වෘත්තීය නිපුණතාවය ඉදිරියේදී මාස්ටර්කාඩ් ආයතනය කලාපීය වශයෙන් තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
















