රටේ සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව මත බදු බර පිට බදු බර පටවමින් ආණ්ඩුව ආදායම් වර්ධනය කරගන්නා බව මවාපාද්දී, බහුජාතික දුම්කොළ සමාගම් වෙත රහසිගත ලෙස මහා පරිමාණ බදු සහන ලබාදීමට කටයුතු කර ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (ජූනි 10) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට සෘජුවම චෝදනා කර සිටියේය. වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට සක්‍රීයව දායක වෙමින් විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළේය.
විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුවේ වත්මන් ආදායම් වර්ධනය මුළුමනින්ම පාහේ සිදුව ඇත්තේ වැට් (VAT) බදු ප්‍රතිශතයන් සහ අනෙකුත් වක්‍ර බදු ඉහළ නැංවීම හරහා සාමාන්‍ය පුද්ගලයන් හා දේශීය ව්‍යාපාර දැඩි ලෙස පීඩාවට පත් කිරීමෙන් බවයි. සාමාන්‍ය ජනතාව එදිනෙදා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මත පනවන බදු මෙලෙස අත්තනෝමතික ලෙස ඉහළ දමද්දී, සිගරට් මිලෙන් අවම වශයෙන් 75%ක් බදු වශයෙන් පවත්වාගත යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ලබා දී ඇති නිල නිර්දේශයන් පවා මුළුමනින්ම අත්හැර දමමින් සිගරට් සඳහා වන බදු ප්‍රතිශතයන් ආණ්ඩුව විසින් සූක්ෂ්ම ලෙස පහත හෙළා ඇති බව ඔහු කියා සිටියේය.
මෙම අඥාන සහ පක්ෂපාතී බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජාතික භාණ්ඩාගාරයට සෘජුවම එකතු කරගත හැකිව තිබූ රුපියල් බිලියන 17.3ක (රුපියල් කෝටි 1,730ක) දැවැන්ත විභව රාජ්‍ය ආදායමක් රටට අහිමි වී ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා ලේඛන සහිතව පාර්ලිමේන්තුවට හෙළිදරව් කළේය. එබැවින් දුම්කොළ සමාගම් සුරකින මෙම බදු සහන ප්‍රතිපත්තිය වහාම ප්‍රතිශෝධනය කර, එමඟින් උපයාගත හැකි රුපියල් කෝටි 1,730ක අතිදැවැන්ත ආදායම රටේ සාමාන්‍ය ජනතාවට සහන සැලසීම සඳහාත්, අත්‍යවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහත හෙළීම සඳහාත් කඩිනමින් යොදවන ලෙස විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් දැඩිව ඉල්ලා සිටියේය. මීට අමතරව, පවතින අසමතුලිත බදු බර හේතුවෙන් දේශීය ව්‍යාපාර කඩා වැටීම, රැකියා අහිමි වීම සහ විශ්‍රාමිකයන් ඇතුළු සමස්ත බහුතර මහජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වීම පිළිබඳව ද ඔහු මෙහිදී සිය දැඩි කනස්සල්ල පළ කළේය.
















