ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේශ් තරංග සිය ක්‍රීඩා දිවියේ අතිවිශිෂ්ට සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 23 හැවිරිදි වියේ පසුවන තරංග මේ වන විට ලකුණු 1,324ක ශ්‍රේණිගත කිරීමේ ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් ලෝකයේ දක්ෂතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් අතරට එක්වීමට සමත්ව ඇත.
මෙම විශිෂ්ට ජයග්‍රහණය ඔහු විසින් රෝමයේ පැවති දියමන්ති ලීග් තරඟාවලියේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් ලබා ගත් රන් පදක්කම සමඟින් හිමි වූවකි. මෙය ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් ලෙස ද සටහන් වූ අතර, ආසියානු ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ දෙවන දිගම හෙල්ල විසි කිරීම සහ ලෝක ඉතිහාසයේ වාර්තා වූ අටවන හොඳම දක්ෂතාව ලෙස ද මෙය සැලකේ.
මෙම තරඟාවලියේදී ලොව ප්‍රබලතම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් පවා පසු කරමින් රුමේශ් තරංග ලැබූ ජයග්‍රහණය, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනා ගැනීමට ඔහුට ඇති හැකියාව තහවුරු කරයි.
ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී මොහොතක් ලෙස මෙම ජයග්‍රහණය ක්‍රීඩා විචාරකයන් විසින් හඳුන්වා දී ඇත. ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාවේ නම ඉදිරියට ගෙන යාමට තරංගගේ මෙම ජයග්‍රහණය මහත් පිටුවහලක් වන අතර, මතු පරපුරේ ක්‍රීඩකයන්ට ද මෙය විශාල ආදර්ශයකි.
තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් රුමේශ් තරංග ප්‍රකාශ කළේ, මෙය තමන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බර විය හැකි අවස්ථාවක් බවත්, ඉදිරි තරඟාවලිවලදී මීටත් වඩා ඉහළ දක්ෂතා අතරට පැමිණීමට දැඩි කැපවීමෙන් කටයුතු කරන බවත්ය.
















