වයස අවුරුදු 16ට අඩු දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම අරමුණු කරගනිමින් කැනඩා රජය නව පනතක් ඉදිරිපත් කර තිබේ. කැනඩාවේ සංස්කෘතික අමාත්‍ය මාක් මිලර් මහතා විසින් ඊයේ (10) ‘සුරක්ෂිත සමාජ මාධ්‍ය පනත’ නමින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මෙම පියවර ඔස්ට්‍රේලියාව අනුගමනය කරමින් ගෙන ඇති නමුත්, කැනඩාවේ මෙම නීතිය තරමක් වෙනස් වේ. ඒ අනුව, බාලවයස්කාර දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවට සහතික විය හැකි තාක්ෂණික සමාගම්වලට මෙම තහනමෙන් නිදහස් වීමට අවස්ථාව හිමිවේ.
මෙම නීතිය මගින් ‘ChatGPT’ වැනි AI චැට්බොට්ස් නියාමනය කිරීමට සහ අන්තර්ජාලය හරහා පැතිරෙන හානිකර අන්තර්ගතයන් පාලනය කිරීමට දැඩි පියවර ගෙන ඇත. ළමයින්ට අපහාස කිරීම, වෛරය වැපිරීම සහ ප්රචණ්ඩත්වය උත්තේජනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර 7ක් හානිකර ලෙස වර්ග කර තිබේ. නීති උල්ලංඝනය කරන සමාගම්වලට කැනේඩියානු ඩොලර් මිලියන 10ක් හෝ එම සමාගමේ ගෝලීය දළ ආදායමෙන් 3%ක දඩ මුදලක් අය කෙරේ. නඩු පැවරීම් සහ නියාමනයන් අධීක්ෂණය කිරීම සඳහා ‘කැනඩා ඩිජිටල් ආරක්ෂණ කොමිසම’ නමින් ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතය.
පසුගිය පෙබරවාරි මාසයේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමකදී සැකකරු ප්‍රහාරයට පෙර ‘ChatGPT’ හරහා ගිනිඅවි පිළිබඳ සාකච්ඡා කර තිබීම මෙම පනත ගෙන ඒමට ප්‍රබල හේතුවක් විය. මෙම සිදුවීමෙන් පසු අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව කැනඩාවට එල්ල වූ බලපෑම දැඩි විය.
ලබන සතියේ ප්‍රංශයේ පැවැත්වෙන G7 රාජ්‍ය නායක සමුළුවට පෙර මෙම පනත ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ නවසීලන්තය දැනටමත් මෙවැනි නීති පනවා ඇති අතර, ඉදිරියේදී ග්‍රීසිය වැනි රටවල් ද මෙවැනි තහනම් පැනවීමට සූදානමින් සිටී. කෙසේ වෙතත්, ඇතැම් නිදහස් මතධාරී සංවිධාන අනතුරු අඟවන්නේ මෙම පනත හරහා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා විය හැකි බවයි.
















