ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව නැංවීම වෙනුවෙන් SLT-MOBITEL සහ STEMUP Educational Foundation විසින් අඛණ්ඩව 6 වන වරටත් ‘Code Club’ වැඩසටහන දියත් කිරීමට එකඟතාව පළ කර තිබේ. මෙම හවුල්කාරීත්වය අනාගත පරපුරේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ව රටේ අනාගත ඩිජිටල් පරිවර්තනයට නායකත්වය දිය හැකි නවෝත්පාදකයන් ලෙස බලගැන්වීම අරමුණු කරයි.
SLT-MOBITEL හි ප්‍රධාන අලෙවි නිලධාරී රෝහණ එල්ලාවල මහතා සහ STEMUP Educational Foundation හි නිර්මාතෘ ප්‍රභාත් මාන්නප්පෙරුම මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන විෂයන් ඒකාබද්ධ කරමින් සිසුන් තුළ තාක්ෂණික විශ්වාසය සහ තර්කානුකූල චින්තනය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
වැඩසටහනේ 2026 අදියර දැනටමත් වැලිසර SLT-MOBITEL Nebula Institute of Technology හිදී සහ දිවයින පුරා මහජන පුස්තකාල 20 කදී ආරම්භ කර ඇත. මෙය විශේෂයෙන්ම දුෂ්කර හෝ අඩු පහසුකම් සහිත ප්‍රදේශවල සිසුන්ට ඩිජිටල් අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහා ගත් උත්සාහයකි.
මෙම වැඩසටහනේ විෂය මාලාව ගෝලීය තාක්ෂණ ප්‍රවණතා සමඟ සමපාත වන පරිදි යාවත්කාලීන කර ඇති අතර, ඒ හරහා සිසුන්ට කෘත්‍රිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය සහ උසස් ඩිජිටල් නවෝත්පාදන පිළිබඳ ප්‍රායෝගික දැනුම ලැබෙනු ඇත. කේත ලිවීමට පමණක් සීමා නොවී, පර්යේෂණ පදනම් කරගත් ගැටලු විසඳීමේ හැකියාව සිසුන් තුළ වර්ධනය කිරීම මෙහි සුවිශේෂත්වයයි.
පසුගිය වසර 5 තුළ සිසු සිසුවියන් සිය ගණනකට මෙම වැඩසටහන හරහා රොබෝ තාක්ෂණික කට්ටල සහ AI ආකෘති සමඟ වැඩ කිරීමේ අවස්ථාව හිමිවූ අතර, ඒ මගින් ඔවුන්ට නවීන ලෝකයේ අවස්ථා ග්‍රහණය කරගැනීමට අවශ්‍ය අඩිතාලම ලැබී තිබේ. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු සමඟ ද සමපාත වන මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස SLT-MOBITEL හඳුන්වා දෙයි.
















