ශ්‍රී ලංකාවේ පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමේදී දැනට ක්‍රියාත්මක වන 15%ක ක්ෂයවීම් (Depreciation) දීමනාව හේතුවෙන් 2026 වසරේදී රජයට රුපියල් බිලියන 40ක පමණ ආදායම් අහිමිවීමක් සිදුවිය හැකි බව ලංකා මෝටර් රථ වෙළඳ සංගමය (CMTA) පෙන්වා දෙයි. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා අදාළ දීමනාව වහාම අහෝසි කරන ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
මෙම ආදායම් අහිමිවීමට සහ වෙළඳපොළ තුළ පවතින ගැටළු සඳහා ප්‍රධාන හේතු කිහිපයක් සංගමය විසින් පෙන්වා දී ඇත. බොහෝ පාවිච්චි කරන ලද වාහන ලෙස ආනයනය කරනු ලබන වාහන ඇත්ත වශයෙන්ම ඉතා අඩු සැතපුම් ප්‍රමාණයක් ධාවනය කළ වාහන වන අතර, ඒවායේ වටිනාකම අලුත් වාහනයක වටිනාකමට බොහෝ දුරට සමාන වේ. එසේ තිබියදීත්, මෙම 15%ක පොදු දීමනාව ලබා දීම හරහා රජයේ බදු ආදායම අසාධාරණ ලෙස අඩු වීමට සහ වෙළඳපොළ තුළ අසමාන තරඟකාරීත්වයක් ඇති වීමට හේතු වී ඇත. මෙම දීමනාව නිසා බදු ගණනය කිරීමේදී වාහනවල සැබෑ වටිනාකම යටපත් වන අතර, එමගින් ජාතික සංවර්ධනය සහ මහජන සේවාවන් සඳහා අවශ්‍ය අරමුදල් රටට අහිමි වේ.
අලුත් වාහන ආනයනය කරන ආයතනවලට මෙවැනි සහනයක් නොමැති විට, පාවිච්චි කරන ලද වාහනවලට පමණක් මෙම සහනය ලබා දීම ආයතන අතර තරඟකාරීත්වය අසමතුලිත කරන බවත් CMTA වැඩිදුරටත් පෙන්වා දෙයි.
සංගමයේ යෝජනා වන්නේ 15%ක ක්ෂයවීම් දීමනාව වහාම අහෝසි කිරීම සහ රජය යම් සහනයක් ලබා දීමට බලාපොරොත්තු වන්නේ නම්, එය වාහනයේ වයස සහ සැබෑ වටිනාකම මත පදනම් වූ, විනිවිද පෙනෙන සහ උපරිම 10%ක් වැනි මට්ටමකින් සීමා වූ ව්‍යුහගත ක්‍රමවේදයක් හඳුන්වා දීමයි.
සෑම රුපියලක්ම රටේ ආර්ථික ප්රගමනයට තීරණාත්මක වන මෙවැනි කාලයකදී, මෙම ගැටලුව සම්බන්ධයෙන් රජය කඩිනම් සහ තීරණාත්මක පියවරක් ගත යුතු බව CMTA අවධාරණය කරයි.
















