ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ‘ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය’ (IEP) විසින් නිකුත් කළ 2026 ගෝලීය සාම දර්ශක (Global Peace Index – GPI) වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට එල්ල විය හැකි ‘බලශක්ති කම්පන’ (Energy Shocks) පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. වත්මන් භූ-දේශපාලනික අස්ථාවරත්වය සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වශයෙන් බොරතෙල් සහ ද්‍රව ස්වභාවික වායු (LNG) මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුවයි.
ශ්‍රී ලංකාව ‘අධි-අවදානම්, බලශක්ති ආනයනය මත යැපෙන ආර්ථිකයක්’ ලෙස වර්ගීකරණය කර ඇති අතර, මෙරට සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 60%ක්ම සපුරා ගනු ලබන්නේ ආනයනික ඉන්ධන මගිනි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ලබාගත් සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ජයග්‍රහණ, බලශක්ති මිල ඉහළ යාම හේතුවෙන් යළි ආපස්සට හැරවීමේ තර්ජනයක් පවතී.
කෘතිම බුද්ධිය (AI) සහ ඒ ආශ්‍රිත දත්ත මධ්‍යස්ථාන සඳහා වන විදුලි ඉල්ලුම 2030 වන විට 2024 මට්ටමට වඩා දෙගුණයක් වනු ඇතැයි ගණන් බලා ඇති අතර, මෙය ගෝලීය බලශක්ති සැපයුම් පද්ධතීන් මත දැඩි පීඩනයක් ඇති කරයි. දේශීය ආරක්ෂාව අතින් ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ප්‍රගතියක් පෙන්වා තිබුණ ද, ආර්ථික ව්‍යුහයේ පවතින දුර්වලතා හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති කම්පනවලට මුහුණ දීමේදී රට පහසුවෙන් කඩා වැටීමේ අවදානමක් පවතී. මැදපෙරදිග පවතින දිගුකාලීන යුදමය වාතාවරණය මගින් මෙරට මූල්‍ය පැවැත්මට එල්ල කර ඇති තර්ජනය අතිශය බරපතල බවත්, බලශක්ති සුරක්ෂිතතාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ හදිසි අවශ්‍යතාවයත් මෙම වාර්තාව මගින් අවධාරණය කරයි.
















