මීගමුව, මුහුදු වීදියේ පිහිටි නිවසක තමන් සතු සුනඛයින් දෙදෙනෙකුට අමානුෂික ලෙස වධ හිංසා පැමිණවූ බවට වාර්තා වූ සිද්ධියක් සම්බන්ධයෙන් 67 හැවිරිදි පුද්ගලයෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි, සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එම සතුන්ගේ මුඛය නූල්වලින් බැඳ දමා තිබූ අයුරු පොලිස් නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. අමානුෂික ලෙස සතුන්ට වධ හිංසා පැමිණවීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් භාරයට ගත් සුනඛයින් දෙදෙනා මේ වන විට ආරක්ෂිතව පසුවන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.















