ගෝලීය ආර්ථික අර්බුද හමුවේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම සඳහා ලෝකයේ සෙසු රටවල් දුම්කොළ හා සිගරට් සමාගම් මත පනවන බදු මුදල් අතිදැවැන්ත ලෙස ඉහළ නංවද්දී, ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය මහජනතාව මත බදු බර පටවමින් සිගරට් මාෆියාවට රහසිගත වක්‍ර බදු සහන සලසා දීමේ බරපතල ප්‍රතිපත්තිමය විකෘතිතාවයක් ජාත්‍යන්තර අයවැය දත්ත සංසන්දනය කිරීමේදී කරළියට පැමිණ තිබේ. අද (ජූනි 11) දින ප්‍රකාශයට පත් කෙරුණු බංග්ලාදේශයේ 2026-27 මුදල් වර්ෂය සඳහා වන 55 වන ජාතික අයවැය යෝජනාවලට අනුව, එරට රජය දුම්කොළ භාවිතය අධෛර්යමත් කිරීමට සහ බදු ආදායම උපරිම කිරීමට සිගරට් නිෂ්පාදන මත දැඩි බදු ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර ඇත.
එම නිල අයවැය ලේඛනවලට අනුව, බංග්ලාදේශ මුදල් ඇමති අමීර් කස්රු මහමුද් චෞද්රි මහතා විසින් සිගරට් ෆිල්ටර් අමුද්‍රව්‍ය සඳහා 300%ක අතිරේක බද්දක් සහ නිකොටින් මත 350%ක දැවැන්ත සුරාබද්දක් පනවා ඇති අතර, උසස් ප්‍රමිතියේ සිගරට් පැකට්ටුවක මිල ටකා 185 සිට 210 දක්වා ක්ෂණිකව ඉහළ නංවා තිබේ. එමෙන්ම බදු පැහැර හැරීම් මුළුමනින්ම වැළැක්වීම සඳහා සිගරට් ඇසුරුම් මත QR කේත (QR Codes) මුද්‍රණය කිරීම ද බංග්ලාදේශය විසින් අනිවාර්ය කර ඇත.
කෙසේ වුවද, බංග්ලාදේශය මෙලෙස රාජ්‍ය භාණ්ඩාගාරය ශක්තිමත් කරද්දී ශ්‍රී ලංකාවේ පාලකයන් ක්‍රියා කර ඇත්තේ ඊට මුළුමනින්ම ප්‍රතිවිරුද්ධ සහ දූෂිත ආකාරයකට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත පෙන්වා දෙයි. ශ්‍රී ලංකාව තුළ 2021 සිට 2026 වසර දක්වා වූ කාලය තුළ සාමාන්‍ය වැට් බද්ද (VAT) 18% දක්වා ඉහළ නංවා, අත්‍යවශ්‍ය භාණ්ඩ 97ක් බදු දැලට හසුකර, පුද්ගල ආදායම් බදු දරුණු ලෙස වැඩි කළ ද, සිගරට් මිලෙහි අඩංගු සැබෑ බදු ප්‍රතිශතය (Effective Tax Share) සාමාන්‍යයෙන් සියයට 7.2කින් රහසේම පහත වැටීමට බලධාරීන් ඉඩ සලසා දී ඇත. ලංකාවේ සිගරට් බද්ද ස්ථාවර රුපියල් අගයක් (Fixed excise tax) ලෙස පවතින බැවින්, සිගරට් සමාගම් විසින් හිතුමනාපයේ මිල ගණන් ඉහළ දමා අතිවිශාල ලාභ ලබද්දී, රජය විසින් සිය සුරාබදු ප්‍රතිපත්තිය යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම වක්‍ර “නිහඬ බදු සහනය” දුම්කොළ සමාගම් වෙත ලැබී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන 75%ක අවම බදු සීමාවට 2018 වසරේදී (74%) ලංකාව ඉතා සමීපව සිටිය ද, වත්මන් 2026 වන විට එය 66.8% දක්වා සිතාමතාම බිඳ දමා ඇත. බංග්ලාදේශය වැනි රටවල් දුම්කොළ කර්මාන්තය මඟින් රාජ්‍ය ආදායම උපරිම කරගන්නා පසුබිමක, ශ්‍රී ලංකා බලධාරීන් සිගරට් සමාගම්වලට ලබාදී ඇති මෙම රහසිගත බදු සහනය හේතුවෙන් ජාතික භාණ්ඩාගාරයට වසරකට අහිමි වන නීත්‍යානුකූල බදු ආදායම රුපියල් බිලියන 17.3ක් හෙවත් කෝටි 1,730ක් වැනි අතිදැවැන්ත මුදලක් බව ආර්ථික විශ්ලේෂකයෝ සංඛ්‍යා ලේඛන සහිතව අනාවරණය කරති.
















