යුද්ධය හෝ දරුණු ද (දිළිඳුකම) හේතුවෙන් තම රටවල් අත්හැර පලායන සංක්‍රමණිකයන් මුහුණ දෙන ඛේදවාචකයන් නොසලකා හරින ලෝක නායකයන්ව ඉතිහාසය විසින් දැඩි ලෙස හෙළා දකිනු ඇතැයි ශුද්ධෝත්තම ලියෝ (Leo XIV) පාප් වහන්සේ අනතුරු අඟවති. යුරෝපයේ ප්‍රධානතම සංක්‍රමණික කේන්ද්‍රස්ථානයක් වන ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත්හි (Canary Islands) සංචාරයක නිරත වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
ලෝක දේශපාලනඥයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ “හෘද සාක්ෂියෙන්” ඉල්ලීමක් කරමින්, ඇමෙරිකානු ජාතික ප්‍රථම පාප් වහන්සේ වන ලියෝ XIV වහන්සේ අවධාරණය කළේ, “මනුෂ්‍ය ගෞරවයට විදේශ ගමන් බලපත්‍ර (Passports) නොමැති බවත්, දේශසීමාවක් තරණය කළ පමණින් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නැති නොවන බවත්ය”. දහස් සංඛ්‍යාත පිරිසක් අමතමින් උන්වහන්සේ කියා සිටියේ, මුහුදේ ගිලී මියයන සංක්‍රමණිකයන් සංඛ්‍යාවන් ගණන් කිරීමට පමණක් ලෝකය හුරු නොවිය යුතු අතර, අප ජීවිත ආරක්ෂා කළාද නැතහොත් උදාසීනව බලා සිටියාද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇති බවයි.
සතියක ස්පාඤ්ඤ සංචාරයක නිරත වන පාප් වහන්සේ, මෙහිදී සංක්‍රමණිකයන් බේරාගැනීමේ නිරත සහන සංවිධාන සහ ස්වේච්ඡා කණ්ඩායම් හමු වී ඔවුන්ගේ අත්දැකීම්වලට සවන් දුන්හ. වසර 18ක් තුළ මුහුදේ ගිලෙන්නට ගිය සංක්‍රමණිකයන් 20,000ක් පමණ බේරාගත් මුදවාගැනීමේ යාත්‍රා නායකයෙකුගේ සංවේදී ප්‍රකාශයකට මෙන්ම, යුරෝපයට පැමිණීමට උත්සාහ කිරීමේදී ලිංගික අපයෝජනයට සහ මිනිස් ජාවාරමට ලක්වූ නයිජීරියානු කාන්තාවකගේ දුක්ගැනවිල්ලට ද උන්වහන්සේ මෙහිදී සවන් දුන්හ.
















