ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) භාරයේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා දිනපතා බැලීමට ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට අවසර දෙන ලෙස කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් භාරයේ පසුවන බැවින්, එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මෙවන් පසුබිමක, රෝහල්ගතව සිටින සිය ස්වාමිපුරුෂයා දිනපතා බැලීමට අවසර දෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ සහ ඔහුගේ නීතිඥ අසිත් සිරිවර්ධන මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිපි යොමු කර ඇත. සිය සේවාදායකයාගේ අයිතිවාසිකම් සහ සුබසාධනය තහවුරු කිරීම තමන්ගේ වෘත්තීය වගකීමක් බව නීතිඥවරයා එමඟින් පෙන්වා දී තිබේ. මේ අතර, තමන්ව රඳවා තබා ගැනීමට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අභියාචනාධිකරණය විසින් ලබන ජූලි 10 වැනිදා දක්වා කල් තබා ඇත.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ශක්තිමත් කරන ලෙසත්, වින්දිතයන්ට සාධාරණය ඉටුකරන ලෙසත් ඉල්ලා කටුවපිටිය දේවස්ථානයේ වින්දිත ජනතාව, පාස්කු වින්දිතයින් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් මීගමුවේදී නිහඬ විරෝධතාවයක නිරත වූ අතර, කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්වෙන සත්‍යග්‍රහයට පැමිණ රජය වෙත සිය සහයෝගය පළ කිරීමට ද කටයුතු කළහ.
















