යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩකටයුතු ඉදිරි මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දුන්නේය.
මෙම නව ප්‍රතිසංස්කරණ පූර්ව ළමාවිය, සාමාන්‍ය, උසස්, වෘත්තීය, තාක්ෂණ සහ ඩිජිටල් අධ්‍යාපනය යන කුලුනු ඔස්සේ ක්‍රියාත්මක කෙරේ. 1991 න් පසු වරින් වර ප්‍රතිපත්ති සැකසුව ද ඒවා නිසි පරිදි ජාතික මට්ටමින් ක්‍රියාවට නැඟී නොමැති බව මෙහිදී අනාවරණය විය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල පෙනෙන්නේ දීර්ඝකාලීනව බැවින් පැරණි ක්‍රමයේ සාධනීය කරුණු ද රැකගනිමින් නව සමාජයට ගැළපෙන පුරවැසියකු බිහිවන සේ මෙය සකස් කළ යුතු බවයි. එමෙන්ම දැනට විධිමත්ව නියාමනය නොවන පෞද්ගලික අධ්‍යාපන ක්ෂේත්‍රය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී විශේෂ සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.















