හදිසි මිල දී ගැනීම් යටතේ මෙරටට රැගෙන ආ පස් වැනි නැවේ ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් පවතින බැවින්, එළඹෙන සැප්තැම්බර් 01 වැනිදාට පෙර ප්‍රමිතියෙන් යුතු අලුත් ගල්අඟුරු නැවක් ලබා නොදුන්නොත් ටෙන්ඩර් කොන්දේසි ප්‍රකාරව අදාළ සමාගමට දඩ පැනවීමට පියවර ගන්නා බව බලශක්ති වැඩබලන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු තොගය භාරගත නොහැකි බව පසුගිය ජුනි 09 වැනිදාම අදාළ සමාගමට දැනුම් දී ඇත.
ගල්අඟුරුවල ප්‍රමිතිය බාල වීම හේතුවෙන් මේ වන විට රුපියල් බිලියන 7කට ආසන්න පාඩුවක් සිදුව ඇති අතර, එය ඉදිරියේදී රුපියල් බිලියන 10-11 දක්වා ඉහළ යා හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද, ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය මුල් කරගනිමින් දඩ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 29.87ක් සහ බැඳුම්කර වශයෙන් ඩොලර් මිලියන 14.7ක් ඇතුළු සමස්තයක් ලෙස රුපියල් බිලියන 14.72ක මුදලක් දැනටමත් රඳවාගෙන ඇති බැවින්, එම පාඩුවේ බර ජනතාවට පැටවීමේ අවශ්‍යතාවක් මතු නොවන බව ද අමාත්‍යවරයා සභා කල්තැබීමේ විවාදයේදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















