ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව ඉදිකළ බේරුවල නව බෝට්ටු දියත් මඟෙහි (Boat Launching Facility) පරිපාලන සහ නඩත්තු කටයුතු ‘ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව’ (CFHC) වෙත පැවරීමට තීරණය කර ඇත. ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.
දේශීය බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය මඟින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 53කට අධික අපනයන ආදායමක් මෙරටට ලබාදෙන නමුත්, නිෂ්පාදනය කෙරෙන විශාල බෝට්ටු ආරක්ෂිතව මුහුදට දියත් කිරීමට පහසුකම් නොමැති වීමෙන් කර්මාන්තකරුවෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටියහ. මීට විසඳුමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් රුපියල් මිලියන 76ක ආයෝජනයකින් මෙම නව දියත් මඟ ඉදිකර ඇති අතර, රටේ ආර්ථිකය වෙනුවෙන් රාජ්‍ය ආයතන මෙලෙස ඒකාබද්ධව කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
















