නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින කාර්යාලීය ප්‍රමාදයන්ට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මානව සහ තාක්ෂණික සම්පත්වල පවතින හිඟය බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඊයේ (11) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ නඩු කටයුතු ඇතුළු විවිධ නීතිමය කටයුතුවලදී නීතිපති දෙපාර්තමේන්තුවේ සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. එමෙන්ම, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් වාර්තා ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් ගත වීම නිසා නඩු කටයුතු තවදුරටත් අඩාල වන බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යවරයා දැක්වූ කරුණු:
නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අතිරේක රජයේ නීතිඥවරුන් (State Counsels) බඳවා ගැනීම සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලුම සම්පත් ලබා දීමට රජය කැපවී සිටින බව ඔහු අවධාරණය කළේය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත. පරීක්ෂණ වාර්තා මින් ඉදිරියට මාස තුනක කාලයක් තුළ නිකුත් කිරීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම පියවරවල ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළ දෘශ්‍යමාන වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
















