ලෝක පරිසර දිනයට සමගාමීව, ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම අරමුණු කරගනිමින් පරිසර අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙළක් දියත් කර ඇත. එහි මූලික පියවරක් ලෙස, දෙහිවල වෙරළ තීරයට පිවිසෙන ප්‍රධාන මාර්ග පහක් විධිමත් ලෙස හඳුනාගෙන නම් කිරීමට කටයුතු කර තිබේ.
මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණු ලෙස නීති විරෝධී ලෙස වෙරළ තීරය ආක්‍රමණය කිරීම් සහ ඒ ආශ්‍රිත බාධා කිරීම් පාලනය කිරීම මෙන්ම වෙරළ තීරයට ප්‍රවේශ වීමේ පොදු මාර්ග නිවැරදිව හඳුනාගෙන ඒවා විධිමත් සිතියමකට ඇතුළත් කිරීම දැක්විය හැකිය. එමගින් වෙරළට පිවිසීමේදී මහජනතාවට සහ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට පවතින බාධා ඉවත් කර ඔවුන්ට පහසුවෙන් වෙරළ තීරය වෙත ළඟා වීමට අවස්ථාව සැලසීම සහ වෙරළ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් තිරසාර සංවර්ධනයක් උදෙසා පියවර ගැනීම අපේක්ෂා කෙරේ.
පරිසර අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, වෙරළ තීරයන් යනු පොදු දේපළක් වන බැවින් ඒවායේ ආරක්ෂාව සහ පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා මෙවැනි විධිමත් පාලන ක්‍රමවේද අත්‍යවශ්‍ය බවයි. ඉදිරියේදී දිවයිනේ අනෙකුත් වෙරළ තීරයන් ආශ්‍රිතව ද මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
















