ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාමට සහ දරුණු කාලගුණික විපර්යාසයන් ඇති කිරීමට හේතු වන ‘එල් – නිනෝ’ (El Niño) කාලගුණික තත්ත්වය මේ වන විට වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම නිරිතදිග ප්‍රදේශවල වර්ෂාපතනය අඩුවීමක් සිදුවිය හැකි බවයි. ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසවලදී මෙම බලපෑම වඩාත් තීව්‍ර විය හැකි බවට අනාවැකි පළ වේ.
එල් – නිනෝ තත්ත්වය හේතුවෙන් නිරිතදිග කලාපවල වියළි ස්වභාවයක් සහ වර්ෂාපතන හිඟයක් ඇති විය හැකි අතර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම නිසා දැඩි උණුසුම් කාලගුණයක් අත්දැකීමට සිදුවනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජලාශවල ජල මට්ටම අඩුවීම සහ කෘෂිකාර්මික කටයුතුවලට බාධා ඇති වීමේ අවදානමක් පවතී.
කාලගුණික රටාවන්වල සිදුවන මෙම වෙනස්කම් සැලකිල්ලට ගෙන ජලය සහ විදුලිය පරිහරණයේදී වඩාත් අවධානයෙන් සහ අරපිරිමැස්මෙන් කටයුතු කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඉදිරි කාලගුණික වාර්තා සහ නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කිරීම වැදගත් වේ.
















