පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විනය පරීක්‍ෂණයක් සදහා පත් කරන ලද නීතීඥයෙකුද වන විමර්ශන නිලධාරියෙකුට එරෙහිව පොලිසිය විසින් සාපරාධි බලහත්කාරය සහ බිය ගැන්වීම ඇතුළු චෝදනා සදහා මහේස්ත‍්‍රාත් උසාවියේ නඩු පවරා තිබෙන සිදුවීමක් වාර්තා වේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිලධාරින් දෙදෙනෙකු අතර මහාමාර්ගයේදී සිදුව ඇති මත ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තා කිරීම සදහා මහනුවර ප‍්‍රදේශයේ නීතීඥයෙකු ලෙස කටයුතු කරන පී.ටී.ජී.ගුණතිලක යන අය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පත් කර තිබේ.මෙම නීතීඥයා, ශ‍්‍රී ලංකා රේගුවේ විමර්ශන කටයුතු ප‍්‍රධානියා ලෙස කටයුතු කර විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව නීතීඥයෙකු බවට පත්ව තිබෙන වයස අවුරුදු 71 ක පුද්ගලයෙකු බව දැනගන්නට ඇත.
විමර්ශන නිලධාරියා සිය වාර්තාව පාලනාධිකාරිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අදාල නිලධාරීන්ට එරෙහිව විධිමත් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබේ.මෙම විධිමත් විනය පරීක්‍ෂණයේ සාක්‍ෂිකාරයෙකු ලෙස මූලික විමර්ශනය සිදුකල නීතීඥ පී.ටී.ජී.ගුණතිලක යන අයද කැදවා ඇත.එකී සාක්‍ෂිය සටහන් කරමින් සිටියදී නීතීඥවරයා චූදිත නිලධාරියාට වීදුරුවකින් පහරදීමට උත්සාහ කිරීම නිසා අදාල නිලධාරියා ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.
පොලිසිය විසින් සාක්‍ෂි සටහන් කර විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නීතීඥවරයාට එරෙහිව මහනුවර මහේස්ත‍්‍රත් අධිකරණයේ අපරාධ නඩුවක් පවරා ඇත.
ඒ අනුව සැකකරු අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් පසුව රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් 2026-07-30 වන දින විභාගය සදහා කැදවීමටත් අධිකරණය නියෝග කර ඇත.
නීතිය පිළිබද දැනුමැති සහ අවුරුදු 71 ක පමණ වන පරිනත පුද්ගලයෙකු ලෙස සැලකෙන විමර්ශන නිලධාරියෙකු විමර්ශන කටයුත්තක් අතරතුර චූදිත නිලධාරියාට පහරදීමට උත්සාහ කිරීම තුලින් අදාල විමර්ශන නිලධාරියාගේ සංයමයත් පරිනතභාවයත් එකී විමර්ශනයේ අපක්‍ෂපාතීත්වය පිලිබදවත් බරපතල සැක සංකා මතුවන බව තතු දන්නෝ පවසති.
















