අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් මෙරට තැඹිලි වගාව විධිමත් කිරීමේ සහ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11.8ක් දක්වා ඉහළ නැංවීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ (11) අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දැනට විසිරී පවතින තැඹිලි වගාව ප්‍රමිතිගත අපනයන-අභිමුඛ කෘෂි ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය හරහා තැඹිලි අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 11.8ක ආදායමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමිතීන්ට ගැළපෙන සැපයුම් දාමයක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ. ඒ සඳහා වගාකරුවන් ලියාපදිංචි කිරීම, කලාපීයකරණය මගින් වගා කළමනාකරණය, අගය එකතු කළ නිෂ්පාදන දියුණු කිරීම සහ වගාව ඩිජිටල්කරණය කිරීම වැනි ක්‍රියාමාර්ග ගනු ලැබේ. තවද, වගාකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා සුදුසු පෝෂක, ජල සැපයුම් පද්ධති, පොහොර සහ අනෙකුත් සහනාධාර ලබා දීමටත්, අපනයන සංවර්ධන මණ්ඩලය, ප්‍රජා ශක්ති සභා සහ අනෙකුත් අදාළ ආයතනවල දායකත්වයෙන් නිසි අධීක්ෂණ හා ප්‍රගති සමාලෝචන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුවකට අනුව ඉලක්කගතව ක්‍රියාත්මක කරමින්, ක්ෂේත්‍රයේ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහභාගී වූහ.
















