ලංකා රෙස්පොන්සිබල් කෙයාර් කවුන්සිලය (LRCC) යනු රසායනික කර්මාන්ත ක්ෂේත්‍රයේ ගෝලීය නියෝජිත ආයතනය වන International Council of Chemical Associations (ICCA) හි Responsible Care® වැඩසටහනට අනුකූලව ශ්‍රී ලංකාවේ ස්ථාපිත සංවිධානයකි. ලොව රටවල් 80 කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක වන මෙම ගෝලීය වැඩසටහන මඟින් වගකීම් සහිත රසායනික කළමනාකරණය, පාරිසරික ආරක්ෂාව, සෞඛ්‍ය හා ආරක්ෂාව සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරයි.
තරුණ තිරසාරත්ව නායකත්වය දිරිමත් කිරීමේ අරමුණින් LRCC විසින් “තරුණ තිරසාරත්ව වෘත්තිකයන්ගේ ඇගයීම් සම්මාන වැඩසටහන – 2026” ආරම්භ කර ඇත. මෙම වැඩසටහන මඟින් සිය ආයතන තුළ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා නායකත්වය, නවෝත්පාදනය සහ කැපවීම ප්‍රදර්ශනය කළ තරුණ වෘත්තිකයන් ඇගයීමට ලක් කෙරේ.
මෙම සම්මාන වැඩසටහනේ ජයග්‍රාහකයින් ඇගයීම සඳහා වන සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජූනි මස 22 වන දින පස්වරු 3.00 සිට කොළඹ 08 පිහිටි Postgraduate Institute of Management (PIM) හිදී පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ නායකයින්, තිරසාරත්ව වෘත්තිකයින් සහ ආයතනික නියෝජිතයින් එක්ව ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතයක් ගොඩනැගීමට දායක වන තරුණ පරපුරේ විශිෂ්ට දායකත්වය සමරනු ඇත.
















