සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන මූල්‍ය වංචාවන්වල නිරත පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත දැඩි උපදෙස් ලබා දී තිබේ.
මෑත කාලීනව සමාජ මාධ්‍ය ගිණුම් අත්පත් කර ගැනීම්, පුද්ගලික තොරතුරු සොරකම් කිරීම් සහ ව්‍යාජ වෙබ් අඩවි හරහා මුදල් වංචා කිරීමේ සිද්ධීන් දෛනිකව පොලිසියට වාර්තා වේ. වංචනිකයින් ශ්‍රී ලංකා මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම් ලබා දී, රහසිගත විමර්ශන පවත්වන බව පවසමින් ජනතාව බියගන්වා මුදල් වංචා කිරීමට උත්සාහ කරන බව පොලිසිය අනතුරු අඟවයි.
කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකතන ඇමතුම් හෝ සමාජ ජාලා ඔස්සේ ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක හෝ මුරපද (Passwords) ඉල්ලා නොසිටින බැවින් එවැනි පණිවුඩ හෝ ඇමතුම් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම, කිසිදු විමර්ශනයක් සඳහා පොලිසිය විසින් මහජනතාවගෙන් මුදල් අය නොකරන බව ද සිහිපත් කරනු ලැබේ.
එවැනි සැකකටයුතු වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම් දීම සඳහා පහත දුරකතන අංක වෙන් කර ඇත:
071 859 2918
071 859 1765
077 230 0756
















