රටේ පවතින ආර්ථික සහ වෙළඳපොළ දත්ත රජය විසින් හිතාමතාම සීමා කර වසන් කිරීම හේතුවෙන් මෙරට රුපියලේ අගය 341 දක්වා බරපතල ලෙස අවප්‍රමාණ වී ඇති බව සමගි ජන බලවේගයේ (SJB) ආර්ථික විශේෂඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඍජුවම චෝදනා කරයි. සභාව අමතමින් “ඔබතුමාත් පිළිගන්නවා ඇති ඔබතුමාලාගේ රජය විසින් වෙළඳ පොලට නිකුත් කරන දත්ත සීමා කරලා තියෙනවා” යනුවෙන් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, මෙම තොරතුරු වසන් කිරීමේ දේශපාලන හා පරිපාලනමය පිළිවෙත නිසා සමස්ත මූල්‍ය වෙළඳපොළම දැඩි ලෙස අස්ථාවර වෙමින් පවතින බව පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි සිදුකිරීමේදී ඊට අදාළ ISIN අංක, උපරිම පලදායීතාව (Yield), අවම පලදායීතාව මෙන්ම සාමාන්‍ය පලදායීතාව වැනි අතිශය තීරණාත්මක සහ සංවේදී මූල්‍ය තොරතුරු වෙළඳපොළ වෙත නිසි ලෙස ලබා නොදීම හේතුවෙන් ආයෝජකයින් සහ මූල්‍ය ආයතන දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව හෙතෙම සඳහන් කළේය. මූල්‍ය ක්ෂේත්රයේ විනිවිදභාවය පිළිබඳව පවතින මෙම බරපතල ගැටලුකාරී තත්ත්වය වහාම නිරාකරණය කළ යුතු බව ද මන්ත්‍රීවරයා මෙහිදී රජයට අවධාරණය කළේය.
රජය විසින් දැනට මූල්‍ය දත්ත ත්‍රෛමාසිකව (Quarterly) සමූහගත කර (Aggregated) ඉදිරිපත් කරන පැරණි ක්‍රමවේදය දැඩි ලෙස විවේචනය කළ හර්ෂ ද සිල්වා මහතා, “ඇග්රේට් කරලා කෝටර්යකට ඉදිරිපත් කරන දත්ත සහ සතිය සතියක් පාසා ඩිසඇග්රේට් කරපු ඩේටා අතර ලොකු වෙනසක් තියෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය. පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව වෙළඳපොළට සහ ආර්ථික විශ්ලේෂකයන්ට නිවැරදි හා පැහැදිලි අවබෝධයක් ඇති වීමට නම්, දත්ත සඟවන්නේ නැතිව සතිපතා විභජනය කරන ලද (Disaggregated) දත්ත විවෘතව ලබා දීමේ ඇති වැදගත්කම ද හෙතෙම වැඩිදුරටත් පැහැදිලි කළේය.
















