ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර අඛණ්ඩව ප්‍රසිද්ධ කළ රජයේ ණය ආපසු ගෙවීම් පිළිබඳ වාර්තා, එම වගකීම මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ණය කළමනාකරණ අංශය (PDDM) වෙත පැවරුණු පසු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මෙම තත්ත්වය හේතුවෙන් රටේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය බරපතල ලෙස බිඳවැටී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජය ණය ගෙවන ආකාරය, ඒ සඳහා යොදාගන්නා මූල්‍ය උපකරණ සහ ඊට අදාළ කාලරාමු පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් මහජනතාවට නොලැබීමෙන් ජනතාව මෙන්ම ආර්ථික පාර්ශ්වකරුවන්ද නොමඟ යමින් පවතින බව ප්‍රකාශ කළේය.
මහ බැංකුව මීට පෙර අනුගමනය කළ විධිමත් දත්ත ප්‍රකාශන ක්‍රියාපිළිවෙතම ණය කළමනාකරණ අංශය මගින් ද වහාම ක්‍රියාත්මක කරන ලෙස හර්ෂ ද සිල්වා මහතා රජයෙන් ඉල්ලා සිටී. ජාතික මට්ටමේ ආර්ථික තොරතුරු සඟවා තැබීම හෝ ප්‍රසිද්ධ නොකිරීම ඉදිරියේදී විශාල ආර්ථික අර්බුදයකට මඟපාදිය හැකි බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය. රටේ මූල්‍ය දත්ත සම්බන්ධයෙන් නෛතික හා සදාචාරාත්මක වගකීම රජය සතු බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
















