ළමා කම්කරුවන් සේවයේ යෙදවීම මුළුමනින්ම නතර කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය. ළමා ශ්‍රම විරෝධී දිනය නිමිත්තෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නිල උත්සවයට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙම දිනය වෙනුවෙන් විශේෂ පාගමනක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් මහරගම නගරයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුගත් වසන්ත ද සිල්වා සහ දේවානන්ද සුරවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.
මෙහිදී දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පළමු වරට සැකසූ, ළමා ශ්‍රමය සම්බන්ධ නීතිය ඇතුළත් බ්‍රේල් අත්පත්‍රිකාව නියෝජ්‍ය අමාත්‍යවරයා සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්. පියතිස්ස යන මහත්වරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතා වෙත පිරිනමනු ලැබීය. මීට අමතරව ළමා ශ්‍රමය පිටුදැකීම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සංඥා භාෂාව ඇතුළත් විශේෂ ශ්‍රව්‍ය දෘෂ්‍ය වීඩියෝ පටයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණි.
















