චීනයේ වෙරළබඩ ආරක්ෂක පද්ධතිවල පවතින දුර්වලතා හඳුනා ගැනීම සඳහා විදෙස් බුද්ධි අංශ විසින් මුහුදු ජීවීන් යොදාගනිමින් රහසිගතව දත්ත රැස් කරන බවට චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය චෝදනා කරයි.
ඔත්තු බැලීමේ කටයුතු සඳහා විශේෂයෙන් සකස් කරන ලද උපකරණ කැස්බෑවන් සහ මසුන් වැනි මුහුදු ජීවීන්ගේ සිරුරුවල සවි කර ඇති බව චීනය පවසයි. චීන අමාත්‍යාංශය නිකුත් කළ “ඔත්තු බලන කැස්බෑවන්, ඔත්තු බලන මසුන්” යන කොටස යටතේ දැක්වෙන්නේ, සංවේදක සවි කරන ලද විශාල මුහුදු ජීවීන් චීනයේ නිශ්චිත මුහුදු ප්‍රදේශවල සැරිසරමින් ජලයේ උෂ්ණත්වය, ලවණතාවය සහ සාගර ධාරා වැනි සංවේදී දත්ත රැස් කර චන්ද්‍රිකා හරහා විදෙස් රටවලට යවන බවයි.
මෙම දත්ත හරහා චීනයේ වෙරළබඩ ආරක්ෂක පද්ධතිවල ඇති දුර්වලතා හඳුනා ගැනීමට විදෙස් බුද්ධි අංශ උත්සාහ කරන බවත්, එය චීනයේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම චෝදනාවේදී චීනය කිසිදු රටක් හෝ ආයතනයක් නිශ්චිතව නම් කර නොමැති අතර, විදෙස් රටවලින් ලැබෙන උපකරණ සම්බන්ධයෙන් ආරක්ෂක පරීක්ෂාවන් දැඩි කරන ලෙසත්, මුහුදේදී අසාමාන්‍ය ලෙස හැසිරෙන පාවෙන උපකරණ හෝ උපාංග පිළිබඳව වාර්තා කරන ලෙසත් චීනය සිය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
මෑත වසරවලදී චීනය සහ බටහිර රටවල් අතර ඔත්තු බැලීම් සම්බන්ධයෙන් පවතින අන්‍යෝන්‍ය චෝදනා නිතර වාර්තා වේ. පසුගිය මාසයේදී හොංකොං විරුද්ධවාදීන් ඔත්තු බැලූ බවට එක්සත් රාජධානියේ පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව එල්ල වූ චෝදනා චීනය විසින් “දේශපාලන ප්‍රහසනයක්” ලෙස හඳුන්වා දුන් අතර, ජර්මනිය, ප්‍රංශය සහ ග්‍රීසිය වැනි රටවලදී ද චීනයට ඔත්තු බැලූ බවට සැකපිට විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් වාර්තා විය.
















