ඉරාන විදේශ අමාත්‍යාංශය සාම ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය දැඩි අස්ථාවරත්වයකට පත්ව ඇති පසුබිමක, ඉරානය සතු පිරිපහදු කළ යුරේනියම් තොගය බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සඳහා ඇමරිකානු සන්නද්ධ බලකායන් විසින් අතිදැවැන්ත පාබල යුධ මෙහෙයුමක් රහසිගතව සැලසුම් කර තිබූ බව ඇමරිකාවේ සී.එන්.එන්. (CNN) පුවත් සේවය මීට සුළු මොහොතකට පෙර විශේෂ විමර්ශනාත්මක වාර්තාවක් නිකුත් කරමින් අනාවරණය කර තිබේ. ආරක්ෂක අංශවල අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රකාශ කරන්නේ, පරමාණුක බෝම්බ 10ක් පමණ නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් වන මෙම මාරක න්‍යෂ්ටික ද්‍රව්‍ය තොගය, ඉරානයේ ඉස්ෆහන් ඇතුළු ප්‍රධාන පරමාණුක මධ්‍යස්ථානවල කඳුකරයට යටින් පිහිටි බිහිසුණු උමං පද්ධති තුළ සඟවා ඇති බවයි.
මෙම අතිසංවේදී මිලිටරිමය සැලසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාවේ සභාපති (Chairman of the Joint Chiefs of Staff) ජෙනරාල් ඩෑන් කේන් (Gen. Dan Caine) පසුගිය මැයි 19 වන දින බ්‍රසල්ස් නුවර පැවති නේටෝ හමුදා ප්‍රධානීන්ගේ හමුව ද අත්හැර හදිසියේම ෆ්ලොරිඩා හි පිහිටි ඇමරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය (CENTCOM) වෙත පැමිණ විශේෂ රහසිගත සාකච්ඡාවකට ද සහභාගී වී ඇත. මෙම සැලසුමට අනුව ඇමරිකානු විශේෂ බලකායන් පමණක් නොව, අතිවිශාල පාබල සේනාංක (ප්‍රමාණයක් සෘජුවම ඉරාන භූමියට ඇතුළු කර, එම විකිරණශීලී ද්‍රව්‍ය ආරක්ෂිතව ප්‍රවාහනය කිරීමට මිලිටරි බලධාරීන් සියල්ල සූදානම් කර තිබුණි.
කෙසේ වුව ද, මෙම මාරක යුධ සැලසුම් සියල්ල ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහු විසින් මෙම බිහිසුණු පාබල මෙහෙයුම වහාම ක්‍රියාත්මක වීම අත්හිටුවීමට නියෝග කර තිබේ. ධවල මන්දිර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙම මෙහෙයුම හරහා ඇමරිකානු සෙබළුන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වීමේ අවදානම සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දමමින් කලාපයේ පිහිටි ඇමරිකානු කඳවුරු වෙත එල්ල කළ හැකි දරුණු මාරක පළිගැනීමේ ප්‍රහාර පිළිබඳව ඇතිවූ දැඩි බිය හේතුවෙන් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි. ඇමරිකාවේ ‘උපරිම බලපෑම් කිරීමේ ප්‍රතිපත්තිය’ හුදෙක් ගුවන් ප්‍රහාරවලට පමණක් සීමා නොවී, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුළටම සෘජුවම ඇමරිකානු සෙබළුන් ගොඩබැස්වීමේ කඩඉම දක්වාම ගොස් ඇති බව මෙමඟින් පැහැදිලි වන අතර, ප්‍රහාරය නතර නොකළේ නම් සමස්ත ලෝකයම පාලනය කළ නොහැකි, තෙවන ලෝක යුද්ධයකට තල්ලු වීමට ඉඩ තිබූ බව ජාත්‍යන්තර ආරක්ෂක විශේෂඥයෝ අවධාරණය කරති.
















