පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය යටතේ සිදුකෙරෙන විමර්ශන කටයුතු පිළිබඳව තමන් වහන්සේ සැබවින්ම සතුටු වන බවත්, විවිධ පාර්ශවයන් විසින් සිදුකරන බාධා කිරීම් හමුවේ වුවද මෙම විමර්ශන ඉදිරියටම යා යුතු බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති වාර්ෂික මංගල්‍ය දේව මෙහෙයකට එක්වෙමිනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදුන් පොරොන්දුව පරිදි ප්‍රහාරයේ සත්‍යතාවය අනාවරණය කරගැනීමේ පරීක්ෂණ දැන් සක්‍රීයව සිදුවන බව පෙන්වා දුන් කාදිනල් හිමිපාණන්, එදා බලයේ සිටි පිරිස් යටගැසූ බොහෝ තොරතුරු සහ දේශපාලන කුමන්ත්‍රණ පිළිබඳ සාක්ෂි දැන් උසාවිය හමුවේ ඉදිරිපත් වෙමින් පවතින බව ප්‍රකාශ කළහ. මීට පෙර නිහඬව සිටි සාක්ෂිකරුවන් දැන් ඉදිරියට පැමිණෙමින් සිටින බවත්, තමන්ගේ හෙළුව සමාජය ඉදිරියේ අනාවරණය වේ යැයි බියෙන් පසුවන ඇතැම් පිරිස් මාධ්‍ය සංදර්ශන, පොත්පත් සහ මඩ ප්‍රහාර හරහා විමර්ශන මෙන්ම උසාවියේ ස්වාධීනත්වය බිඳීමට උත්සාහ කළත්, ඒ පිළිබඳව “අබමල් රේණුවක තරම්වත්” බිය විය යුතු නැති බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
















