ජාතික ජන බලවේගය ආසන මට්ටමින් යළි ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් කිරීම සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම විශේෂ රැස්වීම් මාලාවක් පවත්වා එහි සාමාජිකයන් මුණගැසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ජාතික ජන බලවේගයේ සංවිධාන ශක්තිය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.
මෙම රැස්වීම් මාලාවේදී සෑම ආසනයකම සිටින ක්‍රියාකාරී සාමාජිකයන් සෘජුව හමුවීමට නියමිත අතර, ඔවුන් මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමට ද ජනාධිපතිවරයා තීන්දු කර ඇත.
පුවත්පත් වාර්තාවට අනුව, ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඒකාබද්ධ දායකත්වයකින් තොරව වත්මන් ආණ්ඩුවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යා නොහැකි බවට ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡා ගණනාවකදීම අවධාරණය වී තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියාකාරීව කටයුතු කළ පාර්ශ්ව රැසක්, විවිධ හේතුන් මත මේ වන විට ආණ්ඩුවෙන් තරමක් දුරස් වී සිටින බව එම සාකච්ඡාවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව, එම පිරිස් නැවතත් ‘මාලිමාව’ වටා සක්‍රීයව එක් කර ගැනීම සඳහා ජාතික ජන බලවේගය ආසන මට්ටමින් යළි ප්‍රතිසංවිධානය කරමින් ශක්තිමත් කිරීමට මෙම දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව තීරණය වී තිබේ.
















