බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක නයීම් හසන්ට චැටෝග්‍රෑම්හිදී එරට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් දරුණු ලෙස පහරදී ඇති බවට වාර්තා වේ. ඊයේ (12) රාත්‍රියේ සිදුවූ මෙම සිද්ධියත් සමඟ සමස්ත බංග්ලාදේශ ක්‍රිකට් ක්ෂේත්‍රයම දැඩි කැලඹීමකට ලක්ව තිබේ.
තමන් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බව නැවත නැවතත් පවසා තිබියදීත්, පොලිස් නිලධාරීන් කිසිදු හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන පොලුවලින් සහ ප්ලාස්ටික් පයිප්පවලින් අමානුෂික ලෙස පහරදුන් බව නයීම් හසන් මාධ්‍ය හමුවේ පවසා ඇත. පසුව පොලිස් ස්ථානයේදී තමන්ව හඳුනා ගැනීමෙන් පසු එහි ස්ථානාධිපතිවරයා තමන්ට හිස පහත් කරගෙන සිටින ලෙස පැවසූ බව ද ඔහු හෙළි කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය (BCB) බලධාරීන්ගෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින අතර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ඇතුළු බංග්ලාදේශ ක්‍රීඩකයින් රැසක් නයීම් වෙනුවෙන් හඬ අවදි කරමින් සිදුවීම දැඩි ලෙස හෙළා දැක තිබේ.
චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් අමිරුල් ඉස්ලාම් ප්‍රකාශ කර ඇත්තේ, මෙම පහරදීමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩි විනය පියවර ගන්නා බවයි.
2018 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් 26 හැවිරිදි නයීම් හසන්, මේ මස අගදී ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ තරග සංචාරය සඳහා වූ බංග්ලාදේශ සංචිතයට ද නම් කර තිබීම විශේෂත්වයකි.
















