රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ණයවල රුපියල් අගය ඉහළ ගියද, ඉන් සැබෑ ණය වගකීම වැඩි නොවන බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 2026 මාර්තු මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 102.2ක් බවයි. මෙයට මධ්‍යම රජයේ ණය (ඩොලර් බිලියන 98.96), පළාත් සභා, පළාත් පාලන ආයතන සහ රාජ්‍ය ව්‍යවසායයන්ගේ ණය ද ඇතුළත් වන බව ඔහු පෙන්වා දුන්නේය. මෙය 2025 වසර අවසානයට සාපේක්ෂව ණය ප්‍රමාණය අඩු වීමක් ලෙස ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ණය තිරසාරභාවය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රටක ණය තිරසාරභාවය ඇගයීමට ලක් කළ යුත්තේ විනිමය අනුපාතවල උච්චාවචනයන් මත නොව, අදාළ ණය පියවීමට එම රටට ඇති සැබෑ හැකියාව මත පදනම්ව බවයි.
“ණය ලබාගන්නේ ඩොලර්වලින් නම්, එම වගකීම පවතින්නේ ඩොලර්වලින්මයි. ජාත්‍යන්තර වාර්තාකරණය සඳහා මෙම දත්ත ඩොලර්වලින් ඉදිරිපත් කළත්, රුපියල්වලට පරිවර්තනය කිරීමේදී විනිමය අනුපාතය මත වාර්තාගත අගය වෙනස් විය හැකියි,” යැයි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
















