ලබන වසර (2027) සඳහා රජයේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 2000ක දැවැන්ත මුදලක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14ක් කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.
සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 350ක් වෙන් කර ඇති අතර, ලබන වසරේදී එය බිලියන 2000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි. කළුතර දිස්ත්‍රික්කය තුළ පමණක් ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 550ක් සහ පාලම් හා බෝක්කු සංවර්ධනයට මිලියන 100ක් ලෙස, සමස්තයක් ලෙස රුපියල් කෝටි 200ක් වෙන් කර ඇත.
ආර්ථික දර්ශක සහ ආදායම් වර්ධනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2025 සහ 2026 වසරවලදී රාජ්‍ය ආදායම සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇති බවයි. පසුගිය වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 5,500ක් දක්වා ඉහළ ගොස් ඇත. තවද, මෙරට ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කිරීමට පසුගිය වසරේ හැකි වූ බවත්, විදේශ ප්‍රේෂණ මෙන්ම සංචාරක ව්‍යාපාරය ද මේ වන විට යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















