වත්මන් රජය අනුගමනය කරන පරිසර ප්‍රතිපත්ති තාවකාලික පැලැස්තර වැනි ඒවා බවත්, රටට අවශ්‍ය වන්නේ දීර්ඝකාලීන සහ නොවෙනස් වන ස්ථාවර ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ ‘Rain forest trust’ සංවිධානය විසින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සංවිධානය කර තිබූ පරිසර දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.
දේශගුණික විපර්යාසයන් හේතුවෙන් උද්ගත වී ඇති භයානක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, එල්-නීනෝ (El Niño) සහ ලා-නීනා (La Niña) වැනි කාලගුණික විපර්යාස නිසා කෘෂිකර්මාන්තය, ජීවනෝපායන් සහ ජල විදුලි නිෂ්පාදනය වැනි ක්ෂේත්‍රවලට බරපතළ හානි සිදුවිය හැකි බවයි. ඛේදවාචක සිදුවූ පසු ප්‍රතිකර්ම සෙවීම වෙනුවට, ඒවා සිදුවීමට පෙර සූදානම් වීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේ හුදෙක් දළ දේශීය නිෂ්පාදිතය (GDP) ගැන පමණක් නොසිතා, ජාතික සතුටේ දර්ශකය (Gross National Happiness) ගණනය කිරීමේ ක්‍රමවේදයකට රට ගමන් කළ යුතු බවයි. එහිදී පරිසරයේ, ගහකොළ සහ සතා සිව්පාවාගේ වටිනාකම ඉතා ඉහළ අගයකින් සැලකිය යුතු බවත්, රටක් ලෙස අනාගතය දෙස පුළුල් දැක්මකින් බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















