මෙහෙයුම් අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SHARDA’ නෞකාව සිය සංචාරය නිමා කරමින් අද (2026 ජූනි 13) දිවයිනෙන් පිටත්ව ගියේය. පසුගිය ජූනි 10 වැනි දින දිවයිනට පැමිණි මෙම නෞකාව වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කරන ලදී.
දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති ඇතුළු නිලධාරීන් අතර නාවික හමුදා මූලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්විණි. එහිදී දෙරටේ නාවික හමුදාවන් අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලදී.
නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් අතර සුහද අත්පන්දු තරගයක් සහ විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කර තිබූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ට නෞකාව නැරඹීම සඳහා ද අවස්ථාව හිමි විය. මීට අමතරව, නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක ද සංචාරය කරමින් තම කාලය ගත කළහ.
















