රුසියාව සහ ඉරානය අතර පවතින ද්වීපාර්ශ්වික සන්ධානයේ වර්ධනය බෙහෙවින් අගය කරමින් සහ දෙරට අතර සබඳතා තවදුරටත් උපරිම අයුරින් ගැඹුරු කරගත යුතු බව පවසමින් ඉරාන ජනාධිපතිවරයා විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් (Vladimir Putin) වෙත විශේෂ පණිවිඩයක් යොමු කර තිබේ. කලාපීය සහ ගෝලීය දේශපාලන උඩුයටිකුරු වීම් මධ්‍යයේ මෙම පණිවිඩය නිකුත් වීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇත.
මැදපෙරදිග කලාපීය යුදමය වාතාවරණය දිගින් දිගටම ඇදී යන පසුබිමක, මොස්කව් පාලනය විසින් ටෙහෙරානය වෙත අඛණ්ඩව බුද්ධි තොරතුරු සහය (Intelligence support) ලබා දෙන බවට වාර්තා පළ වෙමින් පවතී. මීට අමතරව ඩ්‍රෝන යානා, මිසයිල තාක්ෂණය සහ සමස්ත මිලිටරි ක්ෂේත්‍රය ඔස්සේ දැනටමත් ගොඩනැඟී ඇති දැවැන්ත යුදමය සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙරටම පියවර ගනිමින් සිටී.
දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉරානය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති මෙම ගැටුම්කාරී තත්ත්වය, බටහිර බලයට අභියෝග කරන නව “බහුධ්‍රැවීය ලෝක රටාවකට” (Multipolar world order) ගෝලීය දේශපාලනය තල්ලු කිරීම තවදුරටත් වේගවත් කර ඇති බවයි. බටහිර සම්බාධක හමුවේ රුසියාව සහ ඉරානය මෙලෙස එකිනෙකාට සමීප වීම ඉදිරි ලෝක දේශපාලන ගමන්මග තීරණය කරන ප්‍රධාන සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















