අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය අරමුණු කරගනිමින් රට පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ මෙහෙයුම්වලදී ඊයේ (12) දිනයේදී පමණක් පුද්ගලයින් 563 දෙනෙකු පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ. මෙම මෙහෙයුම් මගින් මුළුමනින්ම පුද්ගලයින් 27,675 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් පිරිස අතර අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 10 දෙනෙක්, වරෙන්තුකරුවන් 303 දෙනෙක් සහ විවෘත වරෙන්තුකරුවන් 169 දෙනෙක් ද වෙති. තවද බීමත් රියදුරන් 73 දෙනෙකු සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයින් 123 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 4,152 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ද දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඊයේ දිනයේදී පමණක් දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් 835ක් සිදු කර ඇත. එහිදී සැකකරුවන් 829 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
















