අමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි නිදහස් දින සංවත්සරය (Independence Day) සමරන ජූලි මස 4 වැනිදා දිනට සමගාමීව, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ali Khamenei) ගේ අවමංගල්‍ය උත්සව මාලාව ආරම්භ කරන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
පසුගිය පෙබරවාරි 28 වැනිදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ ප්‍රබල ගුවන් ප්‍රහාරයකින් අලි කමේනි ජීවිතක්ෂයට පත් වූ අතර, කලාපයේ පැවැති දැඩි යුදමය වාතාවරණය සහ ආරක්ෂක තර්ජන හේතුවෙන් ඔහුගේ දේහය භූමදානය කිරීම දින 100කට අධික කාලයක් පුරා ප්‍රකාශයට පත් නොකර ප්‍රමාද කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, මේ වන විට අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සාම ගිවිසුමක් අත්සන් කිරීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව මැදිහත්කරුවන් ප්‍රකාශ කිරීමත් සමඟ, ඉරානය මෙම නිල අවමංගල්‍ය කාලසටහන ප්‍රකාශයට පත් කර ඇත.
රාජ්‍ය මාධ්‍ය වාර්තාවලට අනුව, ජූලි 4 වැනිදා ටෙහෙරාන නුවරින් ආරම්භ වන මෙම අවමංගල්‍ය උත්සව මාලාව දින කිහිපයක් පුරා ප්‍රධාන නගර කිහිපයක පැවැත්වීමට නියමිතය. අනතුරුව ජූලි 9 වැනිදා ඔහුගේ උපන් නගරය මෙන්ම අතිශය පූජනීය නගරයක් ද වන ‘මෂාද්’ (Mashhad) හි පිහිටි ඉමාම් රේසා සිද්ධස්ථානයේදී (Imam Reza Shrine) දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට සියල්ල සූදානම් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















