ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) දේශපාලනඥයන් තමන්ට අවශ්‍ය පරිදි දේශප්‍රේමී සහ දේශද්‍රෝහී ලේබල් අලවමින් ‘තලගොයි කබරගොයි න්‍යාය’ ක්‍රියාත්මක කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.
සිරස නාලිකාවේ පැවැත්වුණු දේශපාලන සංවාද සටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පොහොට්ටු කණ්ඩායමේ සාක්කුවේ සිටින තාක් කල් ඕනෑම අයෙකු ‘දේශප්‍රේමියෙකු’ හෝ ‘රණවිරුවෙකු’ වන නමුත්, ඔවුන්ට විරුද්ධ වූ සැනින් ‘දේශද්‍රෝහියෙකු’ හෝ ‘හමුදාවෙන් පලාගිය සොල්දාදුවෙකු’ බවට පත්වන බවයි.
බටහිර රටවල් සහ ජාත්‍යන්තර ආයතන නිකුත් කරන වාර්තා සම්බන්ධයෙන් පොහොට්ටු පාර්ශවය අනුගමනය කරන ද්විත්ව පිළිවෙත විවේචනය කරමින් රුවන් මාපලගම මහතා මෙසේද සඳහන් කළේය:
“ඇමරිකාවෙන් හෝ ඕස්ට්‍රේලියාවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදෙන (FBI ඇතුළු) වාර්තා ඔවුන්ට හොඳයි. හැබැයි ඒ රටවල්ම හෝ ජාත්‍යන්තර මාධ්‍ය මඟින් (යුද සමය පිළිබඳ) ‘කිලිං ෆීල්ඩ්’ (Killing Field) වාර්තා දෙනකොට ඒවා හොඳ නැහැ කියනවා. අපේ හමුදාව එහෙම කරලා නැහැ කියනවා. චැනල් 4 (Channel 4) නාලිකාව සහ අසාද් මවුලානා හෙළිදරව් කරන කොට ඒවා අපි පිළිගන්නේ නැහැ කියනවා.”
තමන්ගේ දේශපාලන වාසියට ගැලපෙන වාර්තා පමණක් හොඳ යැයි පවසමින්, අවාසිදායක වාර්තා ප්‍රතික්ෂේප කිරීමේ මෙම පටු දේශපාලන පිළිවෙත ජනතාව හමුවේ පැහැදිලි විය යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















