අඩු ආදායම්ලාභී පවුල්වල වැඩිහිටි පුරවැසියන් සඳහා ලබාදෙන මැයි මාසයේ වැඩිහිටි දීමනාව ලබන සඳුදා සිට තැපැල් කාර්යාල හරහා ලබා ගත හැකි බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දෙයි. මෙම ගෙවීම් ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සඳහා අදාළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ දත්ත සුබසාධන ප්රතිලාභ කවුන්සිලයේ දත්ත ගබඩාවට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව එම කාර්යාලයේ අධ්යක්ෂ චතුර මිහිදුම් මහතා පැවසීය.
මෙම දීමනාව ලබා දෙනු ලබන්නේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් ඔස්සේය. අස්වැසුම ප්රතිලාභ ලබන පවුල්වල වැඩිහිටි සාමාජිකයින්ට ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුම් හරහා පසුගිය මැයි 29 වන දින ගෙවීම් සිදු කර අවසන්ය. එසේම, වලංගු බැංකු ගිණුම් නොමැති හෝ ගිණුම් විෂමතා හේතුවෙන් මුදල් රඳවාගෙන ඇති ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සෑම මසකම 15 වන දින තැපැල් කාර්යාල හරහා දීමනා ලබා දීමට කටයුතු යොදා ඇත.
රජයේ සුබසාධන වැඩපිළිවෙළ යටතේ වැඩිහිටියන්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා මෙම ගෙවීම් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















