ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය (SLCG) සහ ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය එක්ව ක්‍රියාත්මක කරන ‘දිසි රෑල’ (Disi Rela) සමුද්‍රීය ආරක්ෂක සහ ප්‍රජා සහභාගීත්ව වැඩසටහනේ තෙවන අදියර පසුගිය සතියේ ආරම්භ විය. වසර තුනක් පුරා සාර්ථකව ක්‍රියාත්මක වන මෙම ද්විපාර්ශ්වික වැඩසටහන මෙවර බස්නාහිර සහ දකුණු පළාත්වලින් ඔබ්බට යමින් නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කර තිබේ.
මෙම හවුල්කාරිත්වයේ ප්‍රධාන අරමුණ වන්නේ සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම, ජාත්‍යන්තර සමුද්‍රීය අපරාධ මැඩපැවැත්වීම සහ ආරක්ෂිත මුහුදු මාර්ග ප්‍රවර්ධනය කිරීමයි. මනුෂ්‍ය ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී ධීවර කටයුතු සහ අනෙකුත් නීතිවිරෝධී සමුද්‍රීය ක්‍රියාකාරකම් මැඩලීම සඳහා දෙරට බුද්ධි තොරතුරු හුවමාරුව, මෙහෙයුම් සහයෝගීතාව සහ උසස් තාක්ෂණික උපකරණ මගින් එකිනෙකාට සහයෝගය දක්වයි.
වැඩසටහනේ ප්‍රගතිය උදෙසා ඔස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය වෙත වැදගත් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කර ඇත. එහිදී වෙරළබඩ නිරීක්ෂණ සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා සියලුම භූමි ප්‍රදේශයන්හි ගමන් කළ හැකි වාහන (ATVs) පහක් පරිත්‍යාග කෙරිණි. මීට අමතරව, වෙරළබඩ කලාපයේ තත්ත්වයන් පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සහ නිරීක්ෂණ කටයුතු විධිමත් කිරීම සඳහා නියමුවා රහිත ගුවන් පද්ධති හෙවත් ඩ්‍රෝන යානා ලබා දී ඇත.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් රොහාන් ජෝසප් මහතා, මෙම වැඩසටහන දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගීතාවයේ සංකේතයක් බව පෙන්වා දුන්නේය. පසුගිය වසර තුන තුළ මුහුදු මාර්ගයෙන් සිදු වූ අවදානම් සහගත මිනිස් ජාවාරම් උත්සාහයන් සාර්ථකව වැළැක්වීමට මෙම හවුල්කාරිත්වය හේතු වූ බව ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඔස්ට්‍රේලියාවෙන් ලැබුණු ‘බීච්ක්‍රැෆ්ට් 350′ (Beechcraft 350) සමුද්‍රීය මුර සංචාරක යානා යොදා ගනිමින් සාගර කලාපයේ නිරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර, ඒ හරහා ලැබෙන බුද්ධි තොරතුරු අනුව නාවික හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක බලකාය සමුද්‍රීය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ධම්මික ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.
















