වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රට තුළ කිසිදු ආහාර හිඟයක් හෝ ආහාර සම්බන්ධ ගැටලුවක් මතු නොවූ බවත්, එළඹෙන 2027 වසරේදී නැවත වරක් වැටුප් වැඩිවීමක් සිදුකරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
ලංකා විදුලි සේවක සංගමයේ ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව සහතික කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය:
“පහුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ සිදුවුණේ ඓතිහාසික සිදුවීමක්. එක පන්තියකින් තවත් පන්තියකට බලය මාරු වුණා. අපිත් මේ බලය ලේසියෙන් අත්හැරලා දමලා ගහලා යන්නේ නැහැ. අපිට මේක බන්දේසියක තියලා ලැබුණේ නැහැ. එදා ඕගොල්ලෝ කොච්චර ගුටි කෑවද, කඳුළු ගෑස් කෑවද කියලා මතක තබා ගන්න. මේ ආණ්ඩුව ආවට පස්සේ ආහාර හිඟයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා රටේ කිසිම තැනකින් ඇහිලා තියෙනවද? අවුරුද්දට කිරිබත් කන්න හම්බෙන්නේ නෑ කිව්වට, වෙනදට වඩා හැමෝම සතුටින් උත්සව සැමරුවා. ඒ වගේම ඕගොල්ලන්ගේ වැටුප් එළඹෙන 2027 වසරේදී නැවතත් වැඩි කරනවා.”
මෙම ප්‍රකාශය මගින් රජයේ ස්ථාවරභාවය සහ රාජ්‍ය සේවකයන්ගේ සුබසාධනය පිළිබඳව අමාත්‍යවරයා සිය විශ්වාසය පළ කර තිබේ.
















