සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට නීතියෙන් බේරී විදෙස්ගතව සිටි ප්‍රධාන පෙළේ අපරාධකරුවන් දෙදෙනෙකු වන ‘බ්ලූමැන්ඩල් සංඛ’ සහ ‘මෝදර චතුර’ නැමැත්තන් අත්අඩංගුවට ගෙන ඊයේ (13) රාත්‍රියේ දිවයිනට රැගෙන විත් තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සැඟවී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මොවුන්, පිටුවහල් කිරීමේ ක්‍රියාවලියෙන් අනතුරුව මෙලෙස කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත.
මොවුන් අබුඩාබිහි සැඟවී සිටින කාලසීමාව තුළ මැදපෙරදිග යුද ගැටුම්වලදී භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවලට අදාළ දෘශ්‍ය මාධ්‍ය සාක්ෂි තම ජංගම දුරකතනවල රඳවාගෙන සිටීම විශේෂ සිදුවීමකි. ගුවන්තොටුපොළ වෙත පැමිණි සැකකරුවන් දෙදෙනා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) භාරයට ගෙන ඇති අතර, මේ වන විට මෝදර චතුර කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යොමු කර තිබේ. බ්ලූමැන්ඩල් සංඛ සම්බන්ධයෙන් තවදුරටත් ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ අංශය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරමින් පවතී.
මෙම අත්අඩංගුවට ගැනීම රටේ සංවිධානාත්මක අපරාධ ජාලය බිඳ දැමීම සඳහා ලැබුණු ප්‍රබල ජයග්‍රහණයක් ලෙස සැලකේ. විදෙස්ගතව සිටිමින් මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු නීතියේ රැහැනට හසුවීමත් සමග ඔවුන් හරහා හෙළිදරව් වීමට නියමිත තොරතුරු රැසක් ඔස්සේ පරීක්ෂණ තවදුරටත් පුළුල් කෙරෙනු ඇත. ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ ඔවුන් බන්ධනාගාරගත කිරීමට නියමිත බව වාර්තා වේ.
















