ඉරාක පාපන්දු කණ්ඩායමේ කේන්ද්‍රීය ප්‍රහාරක ක්‍රීඩක අයිමන් හුසේන් (Aymen Hussein), අතිශය දුෂ්කර සහ වේදනාකාරී පෞද්ගලික පසුබිමක් පසුකරමින් අද වන විට ලෝක පාපන්දු වේදිකාවේ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව සිටී. වසර 40කට පසු ඉරාකය ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවස්ථාවේ බොලිවියාවට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ ද ඔහුය.
හුසේන්ගේ ජීවිතය ඛේදවාචක රැසකින් පිරී තිබේ. ඔහුගේ වයස අවුරුදු 12 දී සිය පියා ඝාතනයට ලක් වූ අතර, ඉන් වසර කිහිපයකට පසු ඔහුගේ වැඩිමහල් සහෝදරයා පැහැර ගැනීමට ලක්විය. සහෝදරයා පිළිබඳව අද වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
තම පවුලේ වගකීම් කරට ගැනීම සඳහා පාපන්දු ක්‍රීඩාව අත්හැරීමට ඔහු තීරණය කළ ද, ඒ සඳහා ඔහුට ශක්තියක් වූයේ ඔහුගේ මවයි. “එය ඔබේ සිහිනයයි. මම එය දන්නවා. ඔබ එය සාක්ෂාත් කරගත යුතුමයි” යනුවෙන් ඔහුගේ මව ඔහුට දුන් ධෛර්යය හුසේන්ගේ වෘත්තීය ගමනේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යය විය.
අද වන විට ‘මෙසපොතේමියාවේ සිංහයා’ ලෙස විරුදාවලිය ලත් අයිමන් හුසේන්, සිය මවගේ ආශිර්වාදය සහ නොපසුබස්නා උත්සාහය නිසාම ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ඉරාකයේ වඩාත්ම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටී.
















