ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා අද (ජූනි 15) සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී විය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වන සම්පත් ඉන්දික කුමාර මහතා මීට පෙර බදුල්ල, රත්නපුර සහ පොළොන්නරුව ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් පුළුල් අත්දැකීම් සම්භාරයක් ලබා ඇති නිලධාරියෙකි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ජාතික රෝහල් පරිශ්‍රය තුළ අති නවීන පහසුකම්වලින් සමන්විත මහල් 16කින් යුත් දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇති බවයි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර, වසර තුනක කාලයක් තුළ එය ජනතා අයිතියට පත් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















