රටට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍ය වුවද, සමගි ජන බලවේගය (සජබ) එම කාර්යය නිසි පරිදි සිදු නොකරන බවට ජනතාව අතර මතයක් පවතින බව එක්සත් ජාතික පක්ෂ (එජාප) නියෝජ්‍ය නායක නවීන් දිසානායක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී පුෂ්පදාන ශාලාවේ පැවැති එජාප පාක්ෂික හමුවකදීය. ආර්ථිකය දියුණු කර රට හරි මඟට ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බවත්, ඊළඟ මැතිවරණයේදී ඔහුව රටේ නායකයා කිරීමට සියලු දෙනා එකතු විය යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.
එජාපය බෙදී පවතින තාක් බලයට පැමිණීමට හෝ පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට නොහැකි බව පෙන්වා දුන් දිසානායක මහතා, පක්ෂයෙන් වෙන්ව ගිය බහුතරය නියෝජනය කරන සජබ සමඟ එකතු විය යුතු බවට 70%ක් පමණ වන එජාප පාක්ෂිකයන් පවසන බව සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා සමඟ දැනටමත් සාකච්ඡා කර ඇති බවත්, මධ්‍යම පළාත් සභාවේ බලය ලබාගැනීම වෙනුවෙන් ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරග කිරීමට තමන් සූදානම් වුවද ඒ සඳහා එජාපය සහ සජබ වෙන් වෙන්ව නොව, පොදු ලැයිස්තුවකින් තරග කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුව කෙරෙහි ජනතා බලාපොරොත්තු බිඳ වැටී තිබුණද, ඡන්දය දෙන්නේ කාටද යන්න පිළිබඳ ජනතාව ව්‍යාකූලත්වයකින් පසුවන බවත්, සජබය ශක්තිමත් විපක්ෂයක කාර්යභාරය ඉටු නොකරන බැවින් එජාපය එම වගකීම භාරගත යුතු බවත් ඔහු පැවසීය. පක්ෂ දෙක නියෝජනය කරමින් ගම් මට්ටමින් ඒකාබද්ධ ශාඛා සමිති පිහිටුවිය යුතු බවට සජිත් සහ රනිල් යන නායකයන් දෙපළටම යෝජනා කර ඇති බව පැවසූ නවීන් දිසානායක මහතා, වර්තමානයේ එජාපය සතුව නිසි සංවිධාන ශක්තියක් නොමැති බවද මෙහිදී පිළිගත්තේය.
















