හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ දේශපාලන කාලය දැන් අවසන් වී ඇති බැවින්, ලෝක විහිළුවක් නොවී ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා ප්‍රකාශ කළේය. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස ඔවුන්ට අපහාස නොකරන නමුත්, ඔවුන්ගේ වත්මන් කායික තත්ත්වය හමුවේ තවදුරටත් බලය ඉල්ලීම හාස්‍යයට කරුණක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇවිදගන්න බැරුව මඟ වැටි වැටී යන තත්ත්වයක සිටියදීත් බලය ඉල්ලීමත්, රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ‘එන්ජිම හොඳ මට්ටමේ ඇතැයි’ පැවසුවද දෙකට තුනට වකුටු වී සිටීමත් රට ලෝක විහිළුවක් කිරීමක් බව ඔහු සඳහන් කළේය. දැන් පවතින්නේ ඔවුන්ට හන්සි පුටුවකට වී මුණුබුරු මිණිබිරියන්ගෙන් උපස්ථාන ලබන කාලය බවත්, අලුත් පරම්පරාවට රට භාර දී විශ්‍රාම සුවයෙන් පසුවන ලෙසත් මන්ත්‍රීවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, පසුගිය වසර එකහමාරක කාලය තුළ රාජ්‍ය ආදායම සහ විදේශ ප්‍රේෂණ වැඩි කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසීය. කෙසේ වෙතත්, ඉරාන – ඇමෙරිකා – ඊශ්‍රායල ගැටුම් වැනි බාහිර සාධක හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇති බවත්, ලෝක සාමය ඇතිවීම තුළින් මෙරට බලශක්ති, පොහොර සහ ප්‍රවාහන ඇතුළු සියලු ක්ෂේත්‍රවල මිල පාලනය කරමින් ජනතාවට සහන සැලසීමට අපේක්ෂා කරන බවත් අසිත නිරෝෂණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















