ඉරානය සමඟ පැවැති යුද සමයේදී වොෂින්ටනය ඔවුන් සමඟ රහසිගතව සන්නිවේදන කටයුතු සිදුකළ ආකාරය පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු නිලධාරියෙකු විසින් ඉතා සංවේදී සහ අතිශය තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.
සාමාන්‍යයෙන් යුද්ධයට පෙර පැවැති පැරණි සන්නිවේදන ක්‍රමවේදය ඉතා පැහැදිලි එකක් විය. ඉරානයේ උත්තරීතර නායකයාගේ නියෝග ජාතික ආරක්ෂක කවුන්සිලය සහ දේශපාලන අධිකාරිය හරහා පහළට ගලා ගිය අතර, ඉන් බාහිර ලෝකයට නිකුත් කෙරෙන ඕනෑම පණිවිඩයක් සාම්ප්‍රදායිකව ඕමානය හරහා ගමන් කළේය.
නමුත් යුද ගැටුම් ආරම්භ වූ සැණින් එම සමස්ත සන්නිවේදන දාමයම මුළුමනින්ම බිඳ වැටී තිබේ. මුල්ම ප්‍රහාර මාලාවත් සමඟ ඉරානයේ දේශපාලන යාන්ත්‍රණය විසිරී ගිය අතර, ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් ගණනාවක්ම ජීවිතක්ෂයට පත් විය. එමෙන්ම පණපිටින් බේරුණු සෙසු පිරිස බංකර් (Bunkers) තුළ සැඟව සිටි බව අදාළ ඇමෙරිකානු නිලධාරියා පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඉරානයට පණිවිඩයක් දීම සඳහා ඇමෙරිකාවට නව සන්නිවේදන මාර්ග සෙවීමට සිදුව ඇත. “අපි බලන්න උත්සාහ කළා ඔවුන් එක්ක සන්නිවේදනය කරන්න පුළුවන් අලුත්ම නාලිකා මොනවාද කියලා. ඒ අනුව අපි පාකිස්ථානය සහ කටාර් රාජ්‍යය ඒ සඳහා තෝරා ගත්තා” යැයි එම නිලධාරියා පවසා තිබේ.
මෙම ප්‍රකාශය හරහා යුද්ධය කෙතරම් දුරදිග ගොස් තිබුණේද යන්න නිහඬවම සනාථ වේ. මන්ද, පැරණි දුරකථන පණිවිඩවලට පිළිතුරු දුන් මිනිසුන්ව මුළුමනින්ම අකර්මණ්‍ය කර නොමැති නම්, කිසිවෙකුටත් මෙලෙස හදිසියේ අලුත් දුරකථන මාර්ග සොයා යාමට අවශ්‍ය වන්නේ නැත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















