දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ධාරාණිපාත වර්ෂාවෙන් ශ්‍රී ලංකාවේ ඉහළ දුම්රිය මාර්ග පද්ධතියට සිදු වූ බරපතළ හානි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව, මෙම මස අවසන් වීමට ප්‍රථම බදුල්ලේ සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග කොටස විවෘත කිරීමට සැලසුම් කර ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 126ක බරපතළ හා මධ්‍යම ප්‍රමාණයේ නායයෑම් සිදුව ඇති අතර, ඒවා අඩි 30 සිට 150 දක්වා පළලකින් යුක්ත වේ. මීට අමතරව මාතලේ දුම්රිය මාර්ගයේ ස්ථාන 72ක හානි සිදුව ඇත. මේ වන විට මාතලේ මාර්ගයේ මහනුවර සිට වත්තේගම දක්වා කාර්යාල හා පාසල් දුම්රිය සේවා ආරම්භ කර ඇති අතර, ඉතිරි කොටස්වල වැඩකටයුතු ද සැලසුම් සහගතව සිදු කෙරේ. 2027 වසරේ මැද භාගය වන විට මුළු මහත් ඉහළ දුම්රිය මාර්ගයම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉලක්කයයි.
මෙම ඉදිකිරීම් කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නිර්මාණ සැලසුම් අනුව, භූ තාක්ෂණික සහ භූ විද්‍යාත්මක ඉංජිනේරු සහය ඇතිව සිදු කෙරේ. නැවත ඇති විය හැකි ආපදාවලට ඔරොත්තු දෙන පරිදි නවීන තාක්ෂණය භාවිත කරමින් ස්ථාවර මට්ටමකින් මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම මෙහි විශේෂත්වයකි.
උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම අතිශය සංකීර්ණ කටයුත්තකි. බොහෝ ප්‍රදේශවල මාර්ගය මහාමාර්ගවලට සමාන්තරව පිහිටා නොමැති බැවින්, යන්ත්‍ර සූත්‍ර සහ සේවක ප්‍රවාහනය දුම්රිය මාර්ගය හරහාම පමණක් සිදු කිරීමට සිදුව තිබේ. එසේම දුෂ්කර කඳුකර භූමි ප්‍රදේශ, නිරන්තර වැසි සහ මීදුම සහිත අයහපත් කාලගුණික තත්ත්වයන් මෙම කටයුතුවලට බාධා පමුණුවයි.
නායයෑම් හේතුවෙන් තැඹිලිගල ප්‍රදේශයේ සිරවී ඇති දුම්රිය, දැඩි අධීක්ෂණය යටතේ ආරක්ෂිතව තබා ඇත. අදාළ මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු එම දුම්රිය ඉතා ඉක්මනින් උලපනේ දුම්රිය ස්ථානය වෙත ධාවනය කිරීමට කටයුතු සූදානම් කෙරේ. ප්‍රතිසංස්කරණ කටයුතුවලදී දුම්රිය මාර්ගයේ ඇතැම් කොටස් වල් බිහිවීමේ ප්‍රවණතාවක් පැවතිය ද, ඒවා නිරන්තරයෙන් පිරිසිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කර ඇත.
















